අපිට රූපයක් දකින්න නම් ඒ වස්තුවේ ඉදන් එන ආලෝක කිරණ ඇහැට ඇතුල් වෙන්න ඕන. ඒ ආලෝක කිරණ කුනිතය(ඇහේ ඉදිරිපසම තියෙන පාරදෘෂ්‍ය කොටස) හා කාචයෙන් නාභිගත කරනවා දෘෂ්ඨි විතානය මතට.
දෘෂ්ඨි විතානය උත්තේජනයෙන් ආරම්භ වෙන පණිවුඩය දෘෂ්ඨි ස්නායුව දිගේ මොළයට ගිහින් එතෙන්දි ඇස් දෙකෙන්ම එන පණිවුඩ, එකක් කරල අපට රූපය දකින්න සලස්වනව.සරලවම ඕක තමයි වෙන්නෙ.
එතකොට කණ්නාඩි දාන්න වෙන තත්ත්වයකදී ඔය ක්රියාවලිය වෙනස් වෙන්නෙ කොහොමද?
එලියෙන් එන ආලෝක් කිරණ හරියටම දෘෂ්ඨි විතානය මත නාභිගත කරගන්න බැරි වුනොත් තමයි ගැටලුව. සමහර විට ඒ කදම්භ දෘෂ්ඨි විතානයට ඉදිරියෙන් හෝ පිටුපසින් නාභිගත වෙන්න පුලුවන්. එතකොට මොළයට නිවැරදි පණිවුඩයක් යන්නෙ නෑ. අපිට පේන්නෙ බොඳ වුන පින්තූරයක්.
මෙහෙම වෙන්න කාරණා කීපයක් බලපාන්න පුලුවන්. ඇස් බෝලයේ දිග අවශ්‍ය ප්රමාණයට වඩා අඩු හෝ වැඩි වීම, කුණිතයේ හෝ කාචයේ වක්රතාවය හෝ ඝණත්වය නියමිත ප්රමාණයෙන් අපගමනය වීම වගේ හේතු නිසා මේ දේ වෙන්න පුලුවන්.
අපිට කණ්නාඩි දාන්න වෙන තත්ත්ව මොනවද?
අපි ප්රධාන වශයෙන් එවැනි තත්ත්ව 4ක් ගැන කතා කරනවා.
අවිදුර දෘෂ්ඨිකත්වය
දුර දෘෂ්ඨිකත්වය
විෂ්ම දෘෂ්ඨිකත්වය
හතලිස් ඇඳිරිය
මොකද්ද අවිදිර දෘෂ්ඨිකත්වය කියන්නෙ?
අවිදුර කියන්නෙ ලඟ. ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ තියෙන දේවල් හොදට පේනවා. හැබැයි දුර දේවල් පේන්නෙ නෑ.
ඇස් බෝලය පමණට වඩා දිගු වීම, කාචයේ හා කුණිතයේ වක්රතාව පමණට වඩා වැඩි වීම වගේ දේවල් නිසා අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වෙන්න පුලුවන්.
මේක් බොහෝ වෙලාවට අවුරුදු 6-15 අතර දරුවන්ට ඇතිවන තත්ත්වයක්. ඊට පස්සෙ වයස්ත් ඒක මේක ටික ටික උග්‍ර වෙලා වයස 40දී විතර ස්ථාවර වෙනවා.
එලිමහනේ කාලය ගතකිරීමේ අඩු කම, ඉතා දිගු වේලාවක් ඩිජිටල් තිර (දුරකථන, ටැබ් හා පරිගණක) නැරඹීම, දිගු වෙලාවක් කියවීමේ නිරත වීම, ගෘහාශ්රිත ආලෝක තත්ත්වය මද වීම වගේ දේවල් නිසා මෙම තත්ත්වය ඇටි වෙන්න පුලුවන්. අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන මවුපියන්ගේ දරුවන්ටත් මේ තත්ත්වය අඩු වයසෙන් ඇති වීමේ අවධානමක් තියෙනවා.
එතකොට දුර දුෂ්ඨිකත්වය කියන්නෙ ලඟ පේන්නෙ නැති එකටද?
ඔව්. දුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ දේවල් වලට වඩා පැහැදිලිව දුර තියෙන දේවල් පේනවා. මෙතෙන්දි වෙන්නෙ ලඟ තියෙන වස්තු වලින් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතානයට පසුපසින් නාභිගත වීම.
ප්රමාණයට වඩා කුඩා අක්ෂි බෝලය, කුණිතයේ හා කාචයේ වක්රතාවය හා නාභිගත කිරීමේ බලය මදි වීම නිසා මේ දේ වෙන්න පුලුවන්.
ස්වභාවයෙන්ම කුඩා දරුවන් දුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙනවා. මොකද ඔවුන්ගේ අක්ෂි බෝලය කුඩායි. නමුත් වයසින් වැඩෙද්දී අක්ෂි බෝලයත් වැඩෙන නිසා අවුරුදු 7 විතර වෙද්දී ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
විෂම දෘෂ්ඨිකත්වය කියන්නෙ මොකද්ද?
මෙහිදී වෙන්නෙ කුණිතයේ වක්රතාවයේ විෂමතා නිසා එක් එක් තල වලින් එන ආලෝක කිරණ එක් එක් ස්ථාන ව්ල නාභිගත වීම. එතකොට අපට පෙනෙන්නේ ඇද වුන, අපැහැදිලි පින්තූරයක්. keratoconus කියන තත්ත්වයේදී ඇති වෙන්නෙ මේ වගේ තත්ත්වයක්
හතලිස් ඇඳිරිය ගැන නම් මම දන්නවා
ඔව්. හතලිස් ඇඳිරිය වයසත් එක්ක එන තත්ත්වයක්. වයස අවුරුදු 40ට වැඩි වෙද්දී ඔබට පොත්, පත්තර කියවන්න අමාරුකම, ඉඳි කට්ටට නූල දා ගන්න අමාරු වීම, හාල් වල ගල් ඇහිදින්න අමාරු වීම වගේ දේවල් වලට මූණ දෙන්න වෙනව වෙන්න පුලුවන්. මෙතෙන්දි වෙන්නෙ අපේ කාචයට අවශ්‍ය විටදි එහි වක්රතාවය වැඩිකර ගැනීමේ හැකියාව ක්රමිකව අඩු වෙනවා. ඒ නිසා ලඟ තියෙන වස්තූන්ගෙන් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතාණය මත නාභිගත කිරීමට ඇසට නොහැකි වෙනවා
මට හෝ මගේ දරුවාට කණ්නාඩි දාන්න වෙනවද කියල දැන ගන්න පුලුවන් රෝග ලක්ෂණ මොනවාද?
බොඳ වී පෙනීම
හිසරදය
ඇස් කැක්කුම
ඇස් වලින් කදුළු ගැලීම
නිතර ඇසිපිය ගැසීම
ඇසිපිය මිරිකීම
වපරය
ඒ කියන්නෙ පිටතින් පේන අසාමාන්යතාවයක් නැති වෙන්න පුලුවන්?
ඔව්. ඇස් පිටතින් සාමාන්යයි. ඉතා කලාතුරකින් ඇස් රතු වීම, ඇහි පිහාටු ඉදිමීම, වපරය වගේ තත්ත්ව තියෙන්න පුලුවන්
ඉතින් අපිට ඔය තත්ත්වයන් ඇති වෙන එක වලක්ව ගන්න පුලුවන්ද?
මෙහෙමයි. අපි කලින් කිව්ව වගේ සමහර අවදානම් සාධක තියෙනවා අපිට වෙනස් කරන්න පුලුවන්. එහෙම අවධානම් සාධක වෙනස් කරොත් මේ තත්ත්වයන් ඇතිවීම වලක්වා ගන්න පුලුවන්.
හැබැයි ප්රතිකාර ක්රම කියන්නෙ ඔබේ ඇසේ පෙනීම තවදුරටත් දුර්වල වීම වලක්වන ක්රම හා ඔබට හොදම පෙනීම ලබා දෙන ක්රම. ප්රතිකාර ක්රම වලින් මේ තත්ත්වයන් ඇති වීම වලක්වන්න බැහැ.
දැන්නම් බයත් හිතෙනවා. මම හරි මගේ දරුවා හරි ඇස් පරික්ෂා කර ගන්න ඕන අර කලින් කිව්ව රෝග ලක්ෂණ තියෙනවනම් විතරද?
රෝග ලක්ෂණ තියෙනවනම් අනිවාර්යෙන් සුදුසුකම් ලත් වෛද්යවරයෙක් හමුවී ඇස් පරික්ෂා කර ගන්න. ඊට අමතරව මේ අවස්ථා වලදිත් ඔබ හෝ ඔබේ දරුවා ඇස් පරික්ෂා කර ගන්න ඕන
වයස අවුරුද්දට අඩු ඔබේ දරුවා සෙලවෙන වස්තූන්, ආලෝකය කෙරෙහි අවධානයක් යොමු නොකරන්නේ නම්
දරුවාගේ වපරයක් පෙනේ නම්
රූපවාහිනිය නැරඹීමේදී හෝ පොත් කියවීමේදී ඇස් පොඩිකිරීම, මිරිකීම
දරුවා වස්තූන් වල හැප්පීම, යමක් ගැනීමට උත්සාහ කරද්දී එය ගිලිහීම
පාසලේදී පසුපස පේලියේ සිට කලු ලෑල්ල කියවීමට අපහසු වීම
මීටත් අමතරව සෑම දරුවෙකුම වයස අවුරුදු 6දී ඇස් පරික්ෂාවක් සිදු කරන්න ඕන. අවිදුර දෘෂ්ඨිකත්වය ඇතිවීමේ අවධානම තිබෙන දරුවන්, විශේෂයෙන්ම මවුපියන්ට එම තත්ත්වය තියෙනවනම් වයස අවුරුදු 4දී ඇස් පරික්ෂා කර ගන්න ඕන. වයස අවුරුදු 40 දී කවුරුත් ඇස් පරීක්ෂා කර ගත්තොත් හොදයි. මීට අමතරව ඔබ කණ්නාඩි දානවනම්, වැඩිහිටියෙක් වසරකට වරක්, දරුවෙක් මාස 6කට වරක් ඇස් පරික්ෂා කර ගන්න ඕන.
මොනවද ඔය කියන වෙනස් කරන්න පුලුවන් අවදානම් සාධක?
දැන් අපි අවිදුර දෘෂ්ඨිකත්වයේදී කතා කලා මවුපියන්ගේ අවිදුර දෘෂ්ඨිකත්වය, එලිමහනේ කාලය ගත කිරීමේ අඩුකම, ඩිජිටල් තිර වැඩිපුර වේලාවක් භාවිතය, අඛණ්ඩව දීර්ඝ වේලාවක් කියවීම, ගෘහාශ්රිත ආලෝකයේ මද කම ආදී හේතු අවධානම් සාධක කියල.
ඉතින් දරුවන් වැඩි වේලාවක් එලිමහනේ කාලය ගත කිරීමට උනන්දු කිරීම, ඩිජිටල් තිර භාවිතය සීමා කිරීම, පොත පත කියවීමේදී අතරමැද විවේකයන් ලබා ගැනීම, යහපත් ගෘහාශ්රිත ආලෝකකරණය වගේ දේවල් කලොත් අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වීමේ අවදානම අඩු කරගන්න පුලුවන්.
ඇස් වල ආසාත්මිකතා තිබෙන දරුවන්ට විෂම දෘෂ්ඨිකතවය ඇති වීමේ අවධානමක් තිබෙනවා. ඉතින් ඔවුන්ට නිසි ප්රතිකර්ම නිසි විදියට කලොත් විෂම දෘෂ්ඨිකත්වය ඇති වීම වලක්වා ගන්න පුලුවන්.
හරි. ඇස් පරීක්ෂා කර ගන්නෙ කොහොමද?
පලමුව ඔබ සුදුසුකම් ලත් අක්ෂි වෛද්යවරයෙක් මුණ ගැහෙන්න. ඔහු ඔබේ ඇස් පරීක්ෂා කර ඉන් පසු ඔබව කණ්නාඩි පරීක්ෂණයකට යොමු කරාවි.
කුඩා ළමයින්ගේ කණ්නාඩි පරීක්ෂාවට පෙර ප්රතියෝජක පේෂියේ ක්රියාකාරීත්වය අඩු කර වඩා නිවැරදි පරීක්ෂනයක් කිරීමට ඖෂධයක් ඇසට දානවා. බොහෝ විට මෙය පරීක්ෂාවට දින 3කට පෙර සිට නියම කරන්න පුලුවන්. තවත් ඖෂධ තිබෙනවා පරීක්ෂණයට මිනිත්තු 30කට පෙර ඇසට දැමීම ප්රමාණවත් වන ඖෂධ. ඒක ඔබේ වෛද්යවරයා තීරණය කරාවි. වැඩිහිටියන්ට මෙවැනි පූර්ව ඖෂධ ගැල්වීමේ අවශ්යතාවක් නෑ.
පරිඝණක මාර්ගයෙන් හෝ නැතහොත් රෙටිනොස්කොපි කියන උපකරණයක් භාවිතයෙන් ඔබේ ඇහේ මිනුම් ගන්න පුලුවන්. කොහොමත් පරිඝණක අගයන් නැවත වතාවක් අක්ෂි තාක්ෂණවෙදියෙක් විසින් රෙටිනොස්කොපි පරීක්ෂාවෙන් තහවුරු කර ගන්නවා.
හරි. දැන් පරීක්ෂා කලා කියමු. මට කණ්නාඩි දාන්න වෙයිද? මම කණ්නාඩි දාන්න ආස නෑ
මෙහෙමයි. පෙනීමේ දුර්වලතාවය කණ්නාඩි, සිවි කාච හෝ සැත්කම් මගින් හරි ගස්සන්න පුලුවන්
ඔබ අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන කෙනෙක් නම් ඔබට අවතල කාචයක්, දුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙනවනම් උත්තල කාචයක්, විෂම දෘෂ්ඨිකත්වයෙන් පෙලෙනවනම් සිලින්ඩර කාචයක්, හතලිස් ඇඳිරියනම් උත්තල කාචයක් නියම කරාවි. හතලිස් ඇඳිරියත් එක්ක අවිදුර හෝ දුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් කාච වර්ග 2ක් එකතු කල කණ්නාඩි හෝ සිවි කාච ඔබට නියම කරාවි.
කණ්නාඩි වර්ග, සිවිකාච වර්ග, සැත්කම් ගැන අපි පසුවට වෙනත් ලිපියකින් කතා කරමු
කණ්නාඩි දාන්නම උනා කියමු. ඕක දිගටම දාන්න ඕනද?
කුඩා දරුවන්ට නම් ඕව්. ඔවුන් අවදියෙන් සිටින කාලය පුරාවට කණ්නාඩි පැලඳිය යුතුයි. මොකද එහෙම නොවුනොත් සාපේක්ෂව දුර්වල ඇස කාලානුරූපීව මොළයෙන් ප්රතික්ෂේප කරන්න බලනවා. මේකට කියන්නෙ Amblyopia තත්ත්වය කියල. Amblyopia තත්ත්වයට පත් වුනොත් නැවත් මොළයට ඒ ඇසින් එන සංඥා තේරුම් කරවන්න අමාරුයි. කොටින්ම ඇහැ අන්ධ වෙනව කියල තේරුම් ගත්තත් හරි.
වැඩිහිටි අයටත් ගුණාත්මක පෙනුමක් ගන්න නම් කණ්නාඩි පලදින්න වෙනව. හතලිස් ඇඳිරියට පමණක් දාන කණ්නාඩි නම් ලඟ වැඩක් කරද්දි විතරක් දැම්මම ඇති.
මගේ දරුවා කණ්නාඩි දාන්න හරි කම්මැලියි. මාත් එච්චර උනන්දු කලේ නෑ හැබැයි අද ඉඳල මම එයාව උනන්දු කරන්න ඕන
අනිවාර්යයෙන්. මොකද පෙනුමේ මදකම හෝ තත්ත්වය නිසා දරුවාට දීර්ඝ කාලීන ප්‍රශ්න රැසකට මූණ දෙන්න වෙනවා. අධ්යාපන අවස්ථාවන්, රැකියා අවස්ථාවන් අහිමි වීම, ආත්ම විශ්වාසය අඩු වීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ගැටලු ආදී ප්‍රශ්න රැසක් පෙනීමේ දුර්වලතා නිසා ඇති වෙන්න පුලුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඇස් පරික්ෂාවකින් පසු නිවැරදි කණ්නාඩි කුට්ට්මක් නිවැරදි වෛද්‍ය උපදෙස් මත පැලඳීම.









No comments:
Post a Comment