Friday, August 20, 2021

මට වයස 42යි. ලඟකදී ඉඳන් මට බේත් බෝතලේ, කවර වල අකුරු කියවන්න අමාරුයි. මගේ ඇස් වල ප්‍රශ්නයක්ද?

මොකක්ද හතලිස් ඇඳිරිය කියන්නේ? 

හතලිස් ඇඳිරිය කියන වචනෙම ඕකෙ තේරුම තියෙනවා. අවුරුදු හතලිහෙන් පස්සෙ ඇතිවන සමීප දේවල් අපැහැදිලි වල තත්ත්වය තමයි හතලිස් ඇඳිරියේදි වෙන්නෙ. ඔබේ ඇහේ ස්වභාවික කාචයට ඔබ ලඟ දෙයක් බැලීමේදී එහි වක්‍රතාවය සුදුසු පරිදි වැඩිකර ගෙන වස්තුවේ ප්‍රතිබිම්භය දෘෂ්ඨි විතානය මතටම නාභිගත කරන්න පුලුවන්. නමුත් මේ හැකියාව වයසත් එක්ක ක්ෂය වෙනවා, ක්‍රමිකව ඔබේ ස්වභාවික කාචයට සුදුසු පදිරි තමන්ගේ වක්‍රතාවය වෙනස් කරන්න බැරි වෙනවා. ඔන්න ඔතෙන්දි තමයි කට්ටියට වෙනදට හොඳින් පෙනුන ලඟ වස්තූන් අපැහැදිලිව පේන්න පටන් ගන්නෙ. පොත් වල කුඩා අකුරු කියවන්න අපහසුව, ඉදික‍ටුවට නූල දා ගන්න තියෙන අපහසුව, හාල් වල ගල් ඇහිදින තියෙන අපහසුව ආදී තමන්ගේ ජීවන රටාව හා බැඳුන විවිද අපහසුතා එක්ක හතලිස් ඇඳිරිය එලි බහින්න පුලුවන්  

 

ඒ කියන්නේ ඕනම කෙනෙකුට හතලිස් ඇඳීරිය වයස අවුරුදු 40න් එන්න පුලුවන්ද? 

ඔවු. කාටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. මොකද මේක වයසට යාමත් එක්ක එන ස්වභාවික සංසිද්ධියක්. කොහොම නමුත් ඔබ තරුණ කාලයේ කණ්ණාඩි පැලදපු කෙනෙක් නම් හතලිස් ඇඳිරිය ඇති වන වයස පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුලුවන්. ඔබ අවිදුර දෘෂ්ඨිකත්වයට කණ්ණාඩි දැම්ම කෙනෙක් නම් ඔබට අවුරුදු හතලිහෙන් පස්සෙත් ටික කාලයක් හතලිස් ඇඳිරිය ඇති නොවී තියෙන්න පුලුවන්. අනෙක් අතට, ඔබ තරුණ කාලයේ දුර දෘෂ්ඨිකත්වයට කණ්ණාඩි පැලදපු කෙනෙක්නම් ඔබට අවුරුදු හතලිහටත් කලින්ම මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.  

 

ඇස් වලට ව්‍යායම කරල හතලිස් ඇඳිරිය වලක්ව ගන්න පුලුවන් කියල මම අහල තියෙනවා. 

නැහැ. එහෙම වලක්වා ගන්න හෝ නැවත සුව කිරිමක් කරන්න ව්‍යායාම වල ට බැහැ. මේක මිත්‍යාවක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. හතලිස් ඇඳිරිය ආරම්භ වන අවධියේදී අපේ ස්වභාවික කාචයට හා ඒ ආශ්‍රිත පේශි වලට යම් ප්‍රමාණයකට ඊට අනුගත වෙලා කාචයේ වක්‍රතාවය වෙනස් කරන්න පුලුවන්. යම් ප්‍රමාණයකට. හරිද? ඉතින් මේ වෙලාවෙදි ඇතැම් ඇසට කරන ව්‍යායාම වලින් මේ හැකියාවට පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්. හැබැයි තවත් වයසට යද්දී මේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ඔබට කොහොමත් කණ්ණාඩි දාන්නම වෙනවා. 

 

මල්ටි විටමින් එකක් ගත්තොත් මට හතලිස් ඇඳිරිය වලක්වා ගන්න පුලුවන්ද? 

 මෙහෙමයි ඇසට අදාල මල්ටි විටමින් තියෙනවා. ඒවයෙ තියෙන විටමින් C,E, සින්ක්, ඇතැම් මේද අම්ල, ලුටෙයින්, සියාසැන්තීන් කියන පෝෂක ඇසේ දීර්ඝ කාලීන සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරනව. හැබැයි ඉතින් හතලිස් ඇඳිරිය කියන්නෙ වයසත් එක්ක එන දෙයක්නෙ. ඔබට විටමින් ගත්ත කියල ඒ යතාර්ථයෙන් මිදෙන්න බෑ 

 

හතලිස් ඇඳිරිය නිසා අන්ධභාවය ඇති වෙන්න පුලුවන්ද? 

 හතලිස් ඇඳිරිය නිසා ඔබේ එදිනෙදා සමීප වැඩ කටයුතු වලට බාදාවක් ඇතිවෙන්න පුලුවන්. ඒ කිව්වෙ කුඩා අකුරු කියවීම, ඉදි ක‍ටුවට නූල දැමීම, හාල් වල ගල් ඇහිලීම වගේ දේවල්. හැබැලි හතලිස් ඇඳිරිය නිසා අන්ධභාවය ඇති වෙන්නෙ නෑ. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා. අවුරුදු 40 වෙද්දි ඔබේ ඇසට ග්ලූකෝමාව, එතනින් ගියාම දියවැඩියාව නිසා ඇසට ඇතිවන සංකූලතා ආදිය එන්න තියෙන හැකියාව වැඩියි. ඒව ඇසේ අන්ධභාවය ඇති කරවන තත්ත්ව. ඒ නිසා අවුරුදු 40 ආශ්‍රිතව එන දෘෂ්ඨි අපැහැදිලිකම ගැන අක්ෂි වෛද්‍යවරයෙක් හමු වෙලා බලාගන්න එක හොදයි.  

 

හරි මට හතලිස් ඇඳිරිය කියමු. මොනවද මට තියෙන ප්‍රතිකාර ක්‍රම? 

ඔබට මූලිකව ප්‍රතිකාර ක්‍රම 3 ක් තියෙනව තෝරා ගන්න. 

කණ්ණාඩි, සිවි කාච , සැත්කම් 

ලේසිම වැඩේ තමයි reading glasses දාන එක. හැබැයි reading glass ගන්න කලින අක්ෂි වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබට අවුරුදු 40 ආශ්‍රිතව ඇතිවන ග්ලූකෝමා තත්වය, සුද මතුවීම, දියවැඩියාවේ අක්ෂි සංකූලතා ආදී තත්ත්වයන් නැහැ කියන එක තහවුරු කර ගන්න. ඔබ තරුණ කාලෙ කණ්ණාඩි දාන කෙනෙක් නම් දුර හා ලඟ යන දෙකටම ගැලපෙන පරිදි කණ්ණාඩි නියම කරන්න පුලුවන්. ඒකෙත් විවිධ තෝරාගැනීම තියෙනවා.


bifocal, Trifocal, Progressive addition ආදී විවිධ කණ්ණාඩි වර්ග තිබෙනවා ඔබේ වයස, රැකියා අවශ්‍යතාවය අනුව තෝරා ගන්න. bifical හා progressive addition කියන කණ්ණාඩි වර්ග වල වෙනස්කම් හා වාසි අවසි අපි තව ලිපියකින් කතා කරනවා. 

සිවි කාච වලත් ඔය කියන තෝරා ගැනීම්ම තියෙනවා. අපි සිවි කාච හා කණ්ණාඩි වල වාසි අවාසිත් ඉදිරි ලිපියකින් කතා කරමු. 

ලේසර් සැත්කම් මගින් ඔබේ කුණිතය ප්‍රති-හැඩ ගැස්වීමක් කරන්න පුලුවන්. එමගින් විවිධ දුරවල් වල ඉදන් එන කිරණ දෘෂ්ඨි විතානයටම නාභිගත කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් හතලිස් ඇඳිරියට කරන ලේසර් සැත්කමෙදී (Presbyopic LASIK) එක් ඇසක් දුර බැලීමටත්, අනෙක් ඇස ලඟ බැලීමටත් පුලුවන් විදියට තමයි හදන්නෙ. ටිකක් අමුතුයි වගේ හිතුනට 75% අයට මේ ක්‍රමය හිතට අල්ලන ක්‍රමයක්. හැබැයි ඔබ දැන ගන්න ඕන හැම කෙනෙක්ම presbyopic LASIK සදහා ගැලපෙන පුද්ගලයෙක් නොවන බව. 

එහෙමත් නැත්නම් ඔබට පුලුවන් ස්වභාවික කාචය අයින් කරලා මල්ටිෆෝකට් කාචයක් ඇහැ ඇතුලට දා ගන්න.  

 

හරි. මම සැත්කම් ප්‍රතිකාරය විදියට තෝර ගත්ත කියමු. ඩොක්ට කියන්නෙ මට වඩා හොද presbyopic LASIK ද, එහෙමත් නැත්නම් Multifocal කාචයද? 

මම හිතන්නෙ multifocal len මොකද එයින් ඔබට ඇස් දෙකම එකවර පාවිච්චි කරල ඕනම දුරක තිබෙන වස්තුවක් පැහැදිලිව බලන්න පුලුවන්. Pesbyopic LASIK වලදී පෙර කියපු ආකාරයට දුරට හා ලඟට යන විදියට ඇස් දෙක වෙන වෙනම සකස් කිරීමක් තමයි බොහෝ විට සිද්ධ වෙන්නෙ. අනෙක multifocal කාචයකින් ඔබට ගැඹුර පිලිබඳ වැඩි දැනීමක් ගන්න පුලුවන්. 

 

දැන් මේ හතලිස් ඇඳිරියට ටක්කෙටම ප්‍රතිකර්මයක් නැද්ද? 

ඔබ පෙර කියපු සැත්කමකට ගියොත් ඔබට කණ්ණාඩි හෝ සිවි කාච අවශ්‍ය වෙන්නෙ නෑ හෝ එහි අවශ්‍යතාවය ඉතා සීමිතයි.  

 

හතලිස් ඇඳිරියට දාන කණ්ණාඩි මම හැම තිස්සෙම දාන්න ඕනද? 

ඔබ හතලිස් ඇඳිරිය ඇතිවෙන්න කලින් කණ්ණාඩි දාපු කෙනෙක් නෙවෙයි නම්, ඔබට හතලිස් ඇඳිරිය සදහා දීපු reading glasses, කියවීම ආදී සමීප දේවල් ගැන අවධානය යොමු කිරීමේදී පමණක් දැම්මම ඇති. 

 

 කණ්ණාඩි දැම්මොත් ඕක පුරුද්දට යයිද? හතලිස් ඇඳිරිය එන්න එන්න වැඩි වෙයිද? 

ඔබ කණ්ණාඩි දැම්මත්, නැතත් ලඟ දේවල් බැලීමට ඇසේ තියෙන හැකියාව වයසත් එක්ක තව තවත් අඩු වෙනවා. වයසත් එක්ක වෙන ඒ දේ වෙනස් වෙන්නෙ නෑ.  

 

මම අවුරුදු 30 දී දුර පේන්නෙ නැති එකට LASIK සැත්කමක් කරා. මටත් හතලිස් ඇඳිරිය එයිද? 

දැන් කීපාරක් කිව්වද දෙයියනේ. හතලිස් ඇඳිරිය වයසත් එක්ක එන තත්ත්වයක්. ඕබටත් ඒ ලෝක සත්‍යතාවයෙන් මිදෙන්න බෑ .

No comments:

Post a Comment